තහනම් වු ක්‍රිකට්

කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලකට වසර 02ක ක්‍රිකට් තහනමක්. නිරෝෂන් දික්වැල්ලට මාස 18කට කාලයක් ක්‍රිකට් තහනම්

පසුගිය එංගලන්ත සංචාරයේදී විනය විරෝධී ලෙස කටයුතු කළ බවට චෝදනා එල්ල වූ ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනාට ක්‍රිකට් තහනමක් සහ දඩ නියම කිරීමට එම සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිර්දේශකර තිබේ.

ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් අද (29) එම පරීක්ෂණ කමිටුව ඉදිරියට කැඳවීය.

එහිදී නිරෝෂන් දික්වැල්ලට එරෙහිව මාස 18ක ක්‍රිකට් තහනමක් ද ගුණතිලක සහ මෙන්ඩිස් ට එරෙහිව මාස 24ක ක්‍රිකට් තහනමක් ද පනවන ලෙස නිර්දේශ කර ඇති බව වාර්තා වේ.

ඔවුන්ට එරෙහිව එක අයෙක්ට ඩොලර් 25,000ක දඩයක්ද නියම කළ යුතු බව නිර්දේශවල සඳහන් වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ එංගලන්ත සංචාරයේදී ජෛව බුබුල ආරක්ෂිත ක්‍රමවේදය උල්ලංඝණය කරමින් ඉකුත් ජුනි 27 වනදා රාත්‍රියේ ඔවුන් “ඩරම්” ප්‍රදේශයේදී සමාජගත වී සිටි බවට ඔවුන්ට චෝදනා එල්ල විය.

ඒ සම්බන්ධ වීඩියෝ සාක්ෂියක් ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණි.

චෝදනා එල්ල වූ එම ක්‍රීඩකයින් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා 5 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගිය ජූලි 7 වන දා පත් කෙරිණි.

පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයන් වන්නේ,

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක
නීතිඥ පණ්ඩුල කීර්තිනන්ද
නීතිඥ අසේල රැකව
නීතිඥ උචිත වික්‍රමසිංහ
විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ආර්. ඩබ්. ද සොයිසා

Leave a Reply