හම්බන්තොට ට සේවා මධ්‍යස්ථානයක්

හම්බන්තොට ලොජිස්ටික් ජාත්‍යන්තර සේවා සැපයුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ඇරඹෙයි

මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරාය ආශ්‍රිතව ස්ථාපිත කරන ප්‍රථම බන්ධිත ගබඩා පරිශ්‍රය වන හම්බන්තොට ලොජිස්ටික්ස් ජාත්‍යන්තර සේවා සැපයුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අද (14) ආරම්භ විය.
හෙක්ටයාර් එකක භූමියක ගොඩනඟන ගබඩා පරිශ්‍රයේ ඉදිකිරීම් කටයුතුවල සමාරම්භය සනිටුහන් කරමින් එහි සමරු ඵලකය නිරාවරණය කළෙමි.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයෙහි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියූ මහතාගේ ආරාධනයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ මම ලංකාවේ චීන තානාපති කුයි ශෙන්හොං මහතා ඇතුළු පිරිස සමඟ වරාය පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට ද එකතු වුණෙමි.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ පිහිටි ප්‍රති-නැව්ගත කෙ‍ෙරන වාහන හසුරුවන මෙහෙයුම් අංශය (Ro Ro operations) වෙත ගොස් වාහන ප්‍රති-නැව්ගත කිරීමේ කටයුතු සිදුවන ආකාරය ද නිරීක්ෂණය කළෙමි. මෙම වසර තුළ පමණක් වාහන ලක්ෂ පහක ප්‍රමාණයක් එම අංශයෙන් හසුරුවා ඇති බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයෙහි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියූ මහතා පෙන්වා දුන්නේය. හම්බන්තොට
වරාය විසින් මෙතෙක් හසුරුවා ඇති ඉහළ ම වාහන ප්‍රමාණය ද එය වෙයි.

ඉන්දියාවේ චෙන්නායි, මුන්ද්‍රා, එනෝර්, දකුණු කොරියාවේ ගුන්සාන්, පියොංටෙක් සහ ජපානයේ ඔසාකා, කොබේ සහ නගෝයා යන වරායවලින් ප්‍රති-නැව්ගත කිරීම සඳහා හම්බන්තොට වරායට වාහන රැගෙන එන අතර, දකුණු අප්‍රිකාවේ ඩර්බන්, මෙක්සිකොවේ වෙරක්‍රස්, අමෙරිකාවේ සැන් ඇන්ටෝනියෝ, නෙදර්ලන්තයේ රොටර්ඩෑම් සහ ප්‍රංශයේ ලේ හැවේරේ යන වරාය වෙත ඒවා ප්‍රති-නැව්ගත කරයි.

වරාය පරිශ්‍රයේ පිහිටි කර්මාන්ත කලාපයේ ඉදිකෙරන ෂෙන්ෂෙන් ෂින්ජි සමූහයට (Shenzhen Xinji Group) අයත් “පිරිනිමි” (Plug and Play), “කලාපය තුළ කලාපයක්” (Park in Park) සංකල්පයෙන් ක්‍රියාත්මක ඉලෙක්ට්‍රොනික් උපාංග නිෂ්පාදන කර්මාන්ත කලාපය සහ සිලෝන් ටයර් නිෂ්පාදන පුද්ගලික සමාගම විසින් ඉදිකරන ටයර් නිෂ්පාදන කර්මාන්තශාලා පරිශ්‍රය මගේ විශේෂ අවධානයට ලක්විය.

ටයර් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු සඳහා අමුද්‍රව්‍ය මෙන් ම පිරිස් බලය ද සැපයෙන්නේ දේශීය වශයෙනි. හෙක්ටයාර් 55.8ක් පුරා විහිදෙන මෙම ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාවේ ඉදිකිරීම අදියර දෙකක් යටතේ සිදුකරනු ලබන අතර ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 600ක් ආයෝජනය කෙරෙයි.

හම්බන්තොට වරාය විසින් මේ වන විට අත්පත් කරගෙන ඇති ප්‍රගතිය සහ ඉදිරි සංවර්ධන වැඩෙපිළිවෙළ සම්බන්ධයෙන් මෙහිදී හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයෙහි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියූ මහතා විසින් අප දැනුම්වත් කරනු ලැබීය.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය විසින් ලුණුගම්වෙහෙර ගම්මානය “බලාපොරොත්තුවේ ගම්මානය” ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අදාළ සන්නස් පත්‍රය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයෙහි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියූ මහතා අතර හුවමාරු කර ගැනීම ද මෙම නිරීක්ෂණ චාරිකාවට සමඟාමීව සිදුවිය.

අමාත්‍යවරු වන චමල් රාජපක්ෂ, ජී.එල්. පීරිස්, නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ, දකුණු පළාත් සභා සභාපති සෝමවංශ කෝදාගොඩ, වරාය හා නාවික අමාත්‍යාංශ ලේකම් යූ.ඩී.සී. ජයලාල්, වරාය අධිකාරියේ සභාපති කපිතාන් නිහාල් කැප්පෙටිපොළ, කලම්බු ලොජිස්ටික් සමූහයේ සභාපති එරික් අම්බලංගොඩගේ යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.