ඇඩ් ක්ලික් කියන්නේ ඕනම හිඟන්නෙක්ට…

Scam Alert ~ ඇඩ් ක්ලික් වංචාව
ඇඩ් ක්ලික් කියන්නේ ඕනම හිඟන්නෙක්ට ආරම්භ කරන්න පුලුවන් ඉක්මනින්ම කෝටිපතියෙක් වෙන්න පුළුවන් ව්‍යාපාරයක්…

සල්ලි වියදම් කරනවනම් 49$ වලට හෝ හොර කොපි විකුණන්න තියෙන Nulled PHP Script තියෙන සයිට් එකකින් නොමිළයේ හෝ PTC Script එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.
ඊට පස්සේ කම්පැනි ලෝගෝ එක දැම්මා. ඇඩ්ස් ටිකක් දැම්මා. 2000 ඉඳන් ලක්ෂ 20 වෙනකම් පැකේජ් තියේ කියලා දැම්මා. ප්‍රවර්ධන කලා. සාමාජිකයෝ හොයගත්තා.

වෙබ් අඩවි නිර්මාණය ගැන අපි හොඳට දන්නවා. අද ලංකාවේ PTC එහෙමත් නැතිනම් ඇඩ් ක්ලික් සයිට් වල ලොකු සාමාජිකයින් පිරිසක් ඉන්නවා කියලා දානවා ආරම්භ කල ගමන්. ලොකු මුදලක් ගෙව්වා කියලත් දානවා. ඒක අපිට සයිට් එකේ කැමති ගාණක් පේන්න දාන්න පුළුවන්. සමහර සයිට් මම දැක්කා ඔරිජිනල් Template එකේ තියෙන Dummy Content එකම දාලා. සාම්පල් දාපු සාමාජික පිරිස එහෙම්මම එයාලත් දාගෙන. අඩුම තරමින් සාමාන්‍ය දැනීමවත් නෑ ඒක වෙනස් කරන්න.
මේ දේ ගොඩක් කරන්නේ IT ටිකක් ඉගෙන ගත්ත අවුරුදු 20-25 කොල්ලෝ. ඒ වගේ සයිට් මේ වෙනකොට 5-6කට ආසන්න ප්‍රමාණයක් තියේ.

මෙතන තියෙන අවධානම සරළව පැහැදිලි කරන්නම්. මේ පැහැදිලි කිරීම “අපේ සල්ලිනේ අපි දැම්මේ උඹලට මොකෝ, අපි ඇඩ් ක්ලික් කරලා මේවා හොයන්නේ” කියන ඔස්තාර්ලට වටිනවා.
ඔබ අබාන්ස් එකෙන් රු.50,000ක් ගෙවලා TV එකක් මිළදී ගන්නවා. අවුරුද්දක් දෙකක් පාවිච්චි කරනවා. අබාන්ස් එක වහනවා. කම්පැනි එක කඩාවැටුණා කියමුකෝ. හැබැයි TV එකට ප්‍රශ්නයක් වෙනවද ඒක? නැහැ. TV එකේ වටිනාකම එහෙම්මම තිබෙනවා. ඔබට පුළුවන් TV එක දිගටම භාවිතා කරන්න. TV එක වෙනත් කෙනෙක්ට විකුණලා මුදල් කරගන්නත් පුළුවන්. කැඩුනොත් ඕනම Electric Item සර්විස් කරන තැනකින් හදාගන්නත් පුළුවන්. ඔබට කිසිම පාඩුවක් නෑ ඔබ ගෙවූ මුදලට හරියන්න අවුරුදු 2ක් ටීවී බලලා.

ඔබ ඇඩ් ක්ලික් කම්පැනි එකකින් ඇඩ් ක්ලික් පැකේජ් එකක් ගන්නවා රු.50,000ක් ගෙවලා. අවුරුද්දකින් ඔයාට රු.150,000ක් ලැබෙනවා කියන පොරොන්දුව මත තමයි ඔයා දැන් ඕකට සල්ලි දාන්නේ. ටික කාලෙකින් ආයතනය වහලා දානවා. සයිට් එකේ Error කියන්න පුලුවන්, Update/Upgrade/Server Capacity මදි/කොරෝනා ප්‍රශ්න/සුනාමි/උල්කාපාතයක් එනවා. ඔය වගේ එකී නොකී මෙකී දේවල් කියාවි. දැන් ආයතනය නැහැ. හිටපු කිසිම කෙනෙක් සම්බන්ධ කරගන්නත් බෑ. ප්‍රවර්ධන කල අයත් ප්‍රොෆයිල් පික්චර් අයින් කරගෙන, හැංගිලා.

දැන් තමයි හොඳම හරිය. දැන් ඔය සල්ලි දීලා ගත්ත ඇඩ් ක්ලික් පැකේජ් එකේ මූල්‍ය වටිනාකම කීයද? ඒකෙන් මොනවද ඔයාලට කරන්න පුළුවන්? කිසිදෙයක් බෑ නේද? අන්න ඒ වංචාවට තමා ඔයාලා අහු වුණේ.

ලංකාවේ නීතිය අනුව කිසිම කෙනෙක්ගෙන් ආයෝජන මුදල් ගන්න බෑ මහබැංකුවේ ලියාපදිංචි නැතිනම්. මේ ආයතන ගේන තර්කය තමා “අපේ කොහෙද ආයෝජනය කරන්න තියෙන්නේ? ආයෝජන ලංකාවේ තහනම්. අපේ ඇඩ් පැකේජ් එකක් මිළදී ගන්න තියෙන්නේ.” හරි කමක් නෑ මිළදී ගත්තා කියමුකෝ. දැන් ඕකට මූල්‍ය වටිනාකමක් දෙන්නේ කවුද?
ඇඩ් ක්ලික් කම්පැනි වලින් ගේන ඊලඟ තර්කය තමා ඇඩ් එක දෙන කම්පැනි එකෙන් තමා ඇඩ් එකට සල්ලි ගෙවන්නේ කියලා. ගූගල්, ෆේස්බුක්, Youtube වලට වඩා ලංකාවේ කම්පැනි ඇඩ් වලට ගෙවනවා කියලා??? කවදාවත් ඔයාලා ඔය ඇඩ් ක්ලික් කම්පැනි එකක ඇඩ් එකකින් භාණ්ඩයක් හෝ සේවාවක් අරන් තියේද? නැහැනේ. හැමෝම කරන්නේ ඇඩ් එක ඕපන් කරලා අදාල වෙලාව තියලා උඩුයටිකුරු ඡායාරූපය ඔබලා ඇඩ් එක බැලුවා කියලා තහවුරු කරන එක පමණයි. එහෙම කරන ආයතනයකට කවුරු හරි ඇඩ් දේවිද? ඔන්න මේ ක්‍රමේ Youtube Monetization වලටනම් හොඳයි.

අපි නිකමට හිතමු ලක්ෂ 10 ඇඩ් ක්ලික් පැකේජ් එක ගත්තා. ඒකේ ඔය කියන විදිහට වෙන කම්පැනි වලින් ඇඩ් දෙනවනම් අබාන්ස් ඇඩ් එකක් තිබ්බා කියමු. ඇඩ් ක්ලික් කම්පැනි එක වැහුවොත් ඔයාලගේ ලක්ෂ 10 දෙන්නේ කවුද? අබාන්ස් දෙනවද එයාලගේ ඇඩ් එක ඒකේ තිබ්බා කියලා. ඔය ඇඩ් ක්ලික් පැකේජ් එක වෙන කාටවත් විකුණලා සල්ලි කරන්න පුළුවන්ද? බෑනේ…

අන්න ඒවට තමයි සැලසුම් සහගත මූල්‍ය වංචා කියන්නේ. පිරමීඩ ක්‍රමයට මුදල් නොගත්තත් ඒ අය ඔය විදිහට වංචනික ක්‍රමවේද වලින් ඔයාලගේ සල්ලි අරන් ඒ සල්ලි වෙන ක්‍රම වල ආයෝජනය කරලා තමයි ඔයාලට ලාභය දෙන්නේ.

සමහර අයට මේ පිළිබඳව පැහැදිලි කරලා දෙන්න ගියහම “අපිට මොකෝ මොනවා කරලා සල්ලි හෙව්වත්, අපිට ලාභය ලැබෙනවනේ” කියනවා. “අපේ සර්ට බුදු සරණයි, සර් අලුතෙන් කාර් එකකුත් ගත්තා, අපිට ආඩම්බරයි” කියලා උදම් අනනවා. ඒ තමන්ට සල්ලි ලැබෙනකම්.
වංචාවක් වුණාට පස්සේ “මුන් සල්ලි හොයන ක්‍රමය නීති විරෝධී, මුං අපේ සල්ලි වලින් සැප ගන්නේ. ගෑනූ මෙච්චරක් ඉන්නවා. මුං කුඩු විකුණනවා කියලා ඒ මිනිස්සුන්ගේ දරු පවුල්වලටත් සාප කර කර පෝස්ට් දානවා…

තුහ් නොදකින්, කාළකණ්නි කියලා කියන්න ඕන වංචාව කල මිනිස්සුන්ට නෙමේ. දිව දෙකේ කතා කියන මිනිස්සුන්ට. ස්මාර්ට් ෆෝන් එකක Account එකක් හදාගන්න දැනුමක් තියේනම් අඩුගානේ සාමාන්‍ය දැනීම තියෙන්න ඕන. මොලෙන් හිතන්න ඕන ලේසියෙන් සල්ලි හම්බ කරනවා කියලා එකක් නෑ කියලා.

ඉතිහාසය දිහා බැලුවහම හැම ආයතනයක්ම අවුරුද්දකට වඩා තිබිලා තියේ. Company A ආරම්භ කරනවා. වංචා කරලා අවුරුද්දකින් පනිනවා. ඒකේ ඉන්න කෙනෙක් Company B දානවා. සමහර වෙලාවට Company A ලොක්කම අලුත් නමකින් පටන් ගන්නත් ඉඩ තියේ. ඒකත් වංචා කරලා පනිනවා. ඒකේ ඉන්න දෙන්නෙක් විතර ඊට පස්සේ Company C සහ D ආරම්භ කරනවා. මේකේ වාසිය පේන පිට ඉන්න කිහිප දෙනෙක් Company E, F, G, H ආරම්භ කරනවා. Company C ඉන්න අය Company E,F,G,H වංචාකාර ආයතන Company C පමණයි අවංක, කොරෝනා කාලෙත් හොඳටම ගෙවන්නේ කියලා පෝස්ට් දානවා. හැමෝම ඒකට යනවා. කොරෝනා නිසා ප්‍රශ්න කියලා ගෙවීම් නතර කරනවා ටික කාලෙකින්. Company D වාසිය ගන්නවා, අපි තමයි හොඳ කියනවා. ඔක්කොමලා ඒකට යනවා. ඒකත් සල්ලි අරන් පනිනවා. ඔන්න ඕකයි සැබෑ ස්වරූපය.

ඇඩ් ක්ලික් පැකේජ් වලට මූල්‍ය වටිනාකම් නෑ. ඒ නිසා රැවටිලා ඔබේ මුදල් නාස්ති කරගන්න එපා.

Source:https://www.facebook.com/uditha.rangana.372 

Leave a Reply